Monday 10 July 2023

මීෂා - මුතුමුදලිගේ නිශ්ශංක

 මීෂා - මුතුමුදලිගේ නිශ්ශංක


ත්‍රාසය කුතුහලය රැගත් ක්ෘති කියවීමට අප බොහෝ සෙයින් ප්‍රිය කරයි.මාගේ කතාබහ සදහා මෙවර තෝරා ගැනීම බිහිසුණු කතා ශානරයක් රැගත් මුතුමුදලිගේ නිශ්ශංක මහතාගේ මීෂා කෘතියයි.මෙය ලොමු ඩැහැ ගැනීමට සමත් වූ කතා ශානරයකින් අඩංගු නිසා බොහො අවස්ථාවන්වල තැති ගත් අවස්ථාඩ ද නැතුවාම නොවේ.

මුතුමුදලිගේ නිශ්ශංක මහත්මයාගේ කිය වූ ප්‍රථම කෘතිය වශයෙන් 'මීෂා' හැදින්වීමට පුළුවන.☺️❤️මොහුගේ මෙම කතා තේමාව බැලූ බැල්මට බිහිසුණු එකක් වාගේ පෙනුණ ද මෙය ඉතා සානුකම්පිත දෑසකින් බැලිය යුතු කතා තේමාවක් ලෙස හැදින්විය හැක.

පළිගත් භූත ආත්මයක් මෙම කතාව තුළ සැරි සැරීම හේතු කොටගෙන කතාවේ අහු මුලු තැන් ත්‍රාසයෙන් ,භීතියෙන් පුරවා ඇත.නමුදු මෙය ත්‍රාසය හා භීතිය කතා ශානරයට ම රාමු කිරීම මෙයට සුදුසු නොවේ.
මීෂා හා හන්නා යන මෙම චරිත ද්විත්වය මුහුණ පාන්නා වූ අමිහිරි අත්දැකීම් සමුදාය තුළින් කාන්තාවන්ට සමාජය තුළ තිබෙන පහත් පැතිකඩක් පිළිබඳ මෙහි පෙන්වා දී තිබේ. 

ගණිකා වෘත්තීය,තරුණ ගැහැණු ළමුන් මුදලට විකිණෙන අන්දම,දූෂණ,අපචාර,අපවාද ආදියෙන් ගැහැණු චරිතයන් දුක් විදින්නා වූ අන්දම තුළින් සමාජයට විශාල පණිවිඩයක් එක් කර දීමට මුතුමුදලිගේ නිශ්ශංකයන් මහත් වෙහෙසක් දරා ඇත.
 
ත්‍රාසය,භීතිය රැගත් අනුවේදනීය චිත්‍රපටියක මිහිරියාවක් සිත තුළ චිත්‍රණය කිරීමට මොහු දක්වා ඇති දක්ෂතාවය ද අති සාර්ථක ය.එමෙන් ම මෙම 'මීෂා' කතාව ඉතාමත් ඉහළ පාඨක රසයක් ලබා ගැනීමට දැනටමත් සමත් වී තිබෙන කෘතියක් ලෙස නම් දරන්නට හැකි ය.

කාලයකින් කියවීමට ලැබුණු අපූර්වත වූ හදවත සංවේදී කරන කෘතියක් වශයෙන් හැඳින්වීමට හැකිය.

එසේනම් 'මීෂා' කතාවේ මෙම සුන්දර තැන් පිරික්සා බැලීමට මෙම කතාව නොකිය වූ ඔබට මම ඉතාමත් ම ආදරයෙන් ඇරයුම් කරමි

Thursday 8 June 2023

හඩන විල ( නිදන විල 2) - කේෂාන් හරේෂු


 

හඬන විල - කේෂාන් හරේෂු

       📌️ එඩ්වඩ් පාවෙල් වෘත්තීමය මනෝ විද්‍යා විශේෂඥවරයෙකු විය.තමන්ට හමු වූ එක්තරා කුඩා දරුවෙකුගේ අසාමාන්‍ය ලක්ෂණ හේතු කොටගෙන එම දරුවා පිළිබද වැඩිපුර සොයා බැලීමක් කළ විට ඔහුට දැන ගන්නට ලැබුණු සහ ඔහුගේ පර්‍යේෂණවල ප්‍රතිඵලයන් වශයෙන් එම දරුවාගේ ශාරීරික සහ මානසික ගැටළු රාශියකට පිළිතුරු සොයා ගැනීමට ඔහුට හැකි විය. තමන්ගේ නිවසට හදිසියේ ම පැමිණි එම නන්නාදුනන තරුණිය තමන්ගේ නිවස ඉදිරිපිටම ගසේ එල්ලී සිය දිවි නසා ගැනීමෙන් පසු තමන්ගේ ආදරණීයෙකුට මුහුණ දෙන්නට සිදු වූ බොහෝ ප්‍රස්තුතයන් අතරේ ඔහු සිර විය. ඔහුගේ ද ජීවිතයේ අවසාන භාගයට ලං වෙද්දී ඔහුට දකින්නට ලැබුණු අදෘශ්‍යමාන බලවේගයන් ඔහුගේ මරණයට ඉක්මන් දෑත් දිගු කළේ ය.මේ සෑම දෙයක් ම ඔහුට ටිකෙන් ටික අවබෝධ වන්නට විය.

  📌️ජේම්ස්ගේ සිතේ හටගත් අනේක විද ප්‍රශ්නවලට අවශ්‍ය පිළිතුරු ඔහුට කාලෙත් සමග දැන ගැනීමට හැකි විය.කෙනෙකුගේ වියරු ප්‍රකාශනයක් හමුවේ ජේම්ස් තැති ගෙන ඇත්තේ තමන්ට එයින් කිසි දිනෙක ගැලවීමක් නොමැති බව පසක් කර ගනිමිනි.නිදන විල හිතින් අමතක කොට දැමුව ද එදා සිදු වූ සිදුවීම ඇතුළු තමන්ට මුහුණ දෙන්නට සිදු වූ අනේක විද කරදරයන් පිළිබද අමතක කොට දමා සිටීමට ජේම්ස්ට කිසි දිනක නොහැකි විය.

  📌️ආදරණීය පියෙකුගේ ආදරණීය දියණියක් වූ මැන්ඩිට තමන් වඩාත් ප්‍රිය කරන ලේඛකයා සියැසින් දැක බලා ගැනීමට 2020 ඔක්තෝම්බර් 17 දින නොමැන්ඩ් වෙත යන්නේ බලාපොරොත්තු රාශියක් දල්වා ගෙන ය.නමුත් ඇයට සිදු වන්නේ නොසිතූ විරූ දෙයකට මුහුණ දීමට ය.

  📌️ තමන්ගේ පොලිස් දිවියේ තමන් සතුව පැවරී ඇති රාජකාරිය අකුරටම ඉටු කරන පොලිස් නිළදාරී රෙවෙන්ස්වුඩ් සොයා ගන්නා දෙයින් ඔහුව ද ආන්දෝලනයකට පත් කරන්නට විය.තමන්ට ලැබෙන සියුම් තොරතුරු හමුවේ ඔහු පර්‍යේෂණ කටයුතු සිදු කරමින් ඔහු අවසානය වෙත පැමිණියේ ය.
 
  මේ සියළු දේට අවශ්‍ය පිළිතුරු හඬන විල කියවන පාඨක අපට සොයා ගැනීමට හැකි වේ.නිදන විල කෘතියෙන් පසු දිගු නිහැඩියාවකට පසු කේෂාන් හරේෂු ලියා අවසන් කළ මෙම කෘතිය චිත්තරූප ඉහළම තලයකට ඔසවාලමින් පාඨකයන්ගේ හද ගැස්මේ නිම්නාදයන් සියුම්ව තැති ගන්වන්නට සමත් ලෙස රචනා කොට තිබීම සදහන් කළ යුතු ම ය.මෙය චිත්‍රපටියකට පරිවර්තනය කළහොත් කුමක් වේවි ද කියා සිතුණත් මෙය චිත්‍රපටියක් නොවී කෘතියක් තුළ අන්තර්ගත කතාව පමණක් වීම ඊට වඩා සුදුසු යැයි මගේ අදහසයි.මන්දයත් පැය දෙකකට මෙය සීමා කළ නොහැකි කතා රසයක් මෙහි අන්තර්ගත කොට තිබීම මෙහි විශේෂත්වයයි.

මෙය ඉක්මණට කියවා දමා මෙය වසා තැබීමට හිත බොහෝ අදි මදි කළ ද කතාවේ අවසාන භාගයට පැමිණෙන විට මෙය කියවා අවසන් කිරීමට තරම් මගේ සිත විශාල වශයෙන් පෙළඹුමකට ලක් කළේ ය.

   කේෂාන් හරේෂු විසින් රචිත ග්ලැසේරාගෙන් ආරම්භ කළ මාගේ කියවීම නිදන විල , හඩන විල දක්වා දිගහැරීමට සමත් වූයේ මොහුගේ කෘති  කියවීමට ඇති ඉල්ලුම දෙගුණ තෙගුණ කරවමිනි.මෙවැනි අලංකාර සිතුවිලි ඔබගේ සිතට දැනී ඇගිලි තුඩකට ගෙන එන්නට සිතුණේ කෙසේ ද යත් සිතා ගත නොහැක.එය එතරම් විස්මයජනයකය.එසේනම් ඔබගේ මීළග කෘතිය කියවීමට දෑස් දල්වා ගනිමින් මෙන් ම ඇගිලි ගනිමින් සිටිනා බව අවසාන වශයෙන් පැවසීමට කැමති ය.

  අනිවාර්යයෙන් මෙම හඩන විල කෘතිය කියවීමට ප්‍රථම නිදන විල කෘතිය කියවා එම රසයෙන් ම හඩන විල කෘතිය කියවා බලන ලෙසට මාගේ මෙම සටහන කියවන පාඨක ඔබෙන් ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිමි.ඇවිත් මේ විලේ පත්ලේ ගැඹුර කෙසේද යත් කියවාම බලන්නට යැයි ඉතාමත් ලබැදි සෙනෙහසින් ඔබට මතක් කරන්නට කැමතිය.

නිදන විල - කේෂාන් හරේෂු


   "..මේ ලෝකේ ඔයා දකින දේට වඩා දෙයක් තියෙනවා. සියලුම දේ ප්‍රබන්ධ නෙමෙයි. ඔයා ප්‍රබන්ධ කියලා රස කරන දේවල් පසුපස අමිහිරි සත්‍යයක් හැංගිලා තියෙනවා. මගේ මෝඩකමට අවුරුදු හැත්තෑවක් යනකම් මට ඒක තේරුනේ නෑ..."

            මේ ලෝකයේ පවත්නා සෑම දෙයක් පිටුපසම හේතුවාදයක් පවතී. එවැනි හේතුවාදයක් ද නිදන විල වටා ද පවතී.ජේම්ස් තමන්ගේ නිර්මාණයකට අවශ්‍ය කරන කතාවක් නිර්මාණය කිරීම සඳහා ගමන් කරන්නේ නිව් හැම්ප්ශයර් නම් ප්‍රදේශයටයි.එහිදී ඔවුහු මෙතුවක් නොවිඳ සහ මෙතුවක් කල් විශ්වාස නොකළ සිදුවීම් ගණනාවකට මුහුණ දීමට සිදු විය. එම සිදුවීමත් සමග මේ ගමේ නම කියූ සිටියේ මිනිසුන් භ්‍රාන්ත වන්නේ ඇයි දැයි ජේම්ස්ට යම්තාක් දුරට අවබෝධ වුවත් එය ප්‍රශ්නාර්ථයක් ද ගෙන දෙන්නෙකි.

   නව පරපුරේ ලේඛකයකු වන කේෂාන් හරේෂු නම් කෘතහස්ත ලේඛකයකු ලේඛකයකු කුළුඳුල් නිර්මාණය මෙය වුවත්  මා මොහුගේ දෙවන කෘතිය වන ග්ලැසේරා කෘතිය කියවීමෙන් පසුව මට මෙය කියවීමට හැකි විය. මොහු ග්ලැසේරා කෘතිය සේ ම ඊටත් වඩා වෙනස් වූ කතා තේමාවක් රැගෙන එමින් මෙම නිදන විල කෘතිය පාඨක අපට ලබා දී තිබේ.මෙය කතාවකටත් වඩා එහා ගිය බටහිර පන්නයේ චිත්‍රපටියක් නැරඹුවා හා සමාන හැඟීමක් මෙය කියවා යන මා හට හැඟිණි.කුතුහලය පරිච්ඡේදයක් ගානේ අලුත් වෙමින් අපව කතාව ඔබ වෙත නතු කර ගැනීමට මෙතුමා දරා ඇති ප්‍රයත්නය අතිමහත් කොට සැළකිය හැකි ය. මෙය ඇත්ත වශයෙන් ම මා කිය වූ කෘතීන් අතරින් සුවිශේෂී ම කෘතියක් බවට පත් වූ බවට කිසිදු සැකයක් නොමැත.

 මෙය එක් අතකට ත්‍රාසය, භීතිය, කුතුහලය රැගත් ඉතා සුවිශේෂී කතාවක් වශයෙන් දක්වන්නට කැමැති ය. මෙය මා ඉතාමත් ම ප්‍රියකරන ශානරයක් වන හෙයින් මෙවැනි කෘති මාගේ රසඥතාවය ඉහළ අගයකට පත් කිරීමට සමත් විය.

 නිදන විල යනු අවසානයක් නොව මෙය තවත් එක් ආරම්භයක් පමණි එය මෙය කියවන ඔබට නිසැක වශයෙන් ම හැඟෙන බව සඳහන් කළ යුතු ය.මෙහි දෙවන කොටස වන හඬන විල කෘතිය තුළ නිදන විලෙහි ඉතිරි කර ඇති ප්‍රස්තුතයන්ට පිළිතුරු සෙවීමට ඉතාමත් ම නොඉවසිල්ලෙන් සිටිමි.😌😌


 

Monday 29 May 2023

ප්‍රියා සමග ඉරිදාවක් - මංජුල සේනාරත්න

 ප්‍රියා සමග ඉරිදාවක් - මංජුල සේනාරත්න



ආදරය පුද්ගල ජීවිතයට අවැසි දෙයකි.එම ආදරය අප විවිධ වූ අවස්ථාවන් වල විවිධ වූ තැන්වල මෙන් ම විවිධ වූ පුද්ගල සබදතා තුළින් අප ලබා ගන්නේ ය.ඒ අන්දමට එක කෘතියක් තුළ විවිධ වූ හදවත් රාශියක් එකලු කරන්නට සමත් වූ කෘතියක් වශයෙන් "ප්‍රියා සමග ඉරිදාවක්" දැක්විය හැකිය.

මෙහි හමුවනා චරිත හරි සුන්දර ය.ඇතැම් චරිත් ප්‍රශ්නාර්ථයක් ද ගෙන දුන්නේ ය.නුවන් නාමලී ,සරත් නාලිනී ,නදීකා ,හරන් රාධා , සෙනවිරත්න ප්‍රියංකා ආදී වූ මේ සියලු ආදර අන්දරයන් තුළින් අපට පසක් කරන්නේ එකිනෙකට වෙනස් වූ ආදරයන් ය.

මෙම කතා සියල්ල කියවා යන විට ආදරය කියන දේ තදින් ම සිතට දැනුණු තැන් මෙන් ම ප්‍රිය විප්පයෝගයම හෘදය වස්තුවට ම කා වද්දන අන්දමින් මා හට දැනෙන්නට විය.විරූපික දරුවෙකුට ආදරය රාධාගේ උතුම් මව් ගුණය සේ ම දරුවන් සමග ජෑම් ගස් යට හෙවණේ වරු ගණන් හීන දකිනා ප්‍රියාගේ මාතෘත්වය ද සෙනෙහය හද තුළ පුරවන්නට සමත් විය.

මේ කතා සියල්ලන් ගෙන් වඩාත් සිත් ගත් මෙන් ම අනෙක් සියල්ලම අමතක කොට හිත නිවෙනා ආදරයකට රැගෙන යන්නා වූ සොදුරුතම තැන ප්‍රියා සහ සෙනෙවිරත්න ආදරය අවසන් නොවී තිබුණා නම් කියා සිතුණු වාර මා හට අනන්තය අප්‍රමාණය.

මා මෙතෙක් කිය වූ කතා තුළ ආදරය වෙන් වීම මනා කොට උගත හැකි වූ මෙන් ම හෘදය සංවේදි කොට මා නිරුත්තර කිරීමට සමත් වූ සුවිශේෂි නිර්මාණයක් වශයෙන් ප්‍රියා සමග ඉරිදාවක් හැදින්විය හැකි ය.

මංජුල සේනාරත්න යනු කවදත් මගේ හද තුළ නිදන් ගත වූ සොදුරු වූ මතක තබන්නට සමත් වූ විශිෂ්ට ලේඛකයකු වශයෙන් අර්ථ දැක්විය හැකි ය.12.12.12 සහ බියුරෝ යන කෘති ද්විත්වයෙන් පසු මා මොහුගේ කියවීමට ඇබ්බැහි වූවෙමි.ප්‍රියා සමග ඉරිදාවට අද දින තවත් එක් ඇබ්බැහියක් ලෙස එක් වූ කෘතියක් වශයෙන් සතුටින් කිව යුතු ය.

මෙහි මාගේ සිත මදකට නතර කොට නෙත දහ වතාවකට නොඅඩුව යැවූ පරිච්ඡේදයෙන් මම නවතිමි..✍️
.
.
.
''ගව් ගණනක් ඈත අහසේ වැස්ස පටන් ගනිද්දී ප්‍රියා මගේ ඔඩොක්කුවේ හිස තබා ගත්තාය. ඇය දකුණු අත මගේ ගෙල වටා යන්නට ඇත. එහෙත් ඒ කිසිදු මොහොතක නොදැනුණු නැවුම් බවක් මේ මොහොතේ මට දැනුණේ මම තදින් ඇයව තුරුළු කර ගතිමි. ඇගේ සිරුරේ දුබල අස්ථීන් තවත් දුබල වී කැඩී යන තරමට තදින් මම ඇයව තුරුළු කර ගතිමි. ඇගේ උණුසුම් මට දැනෙන්නට වී ඈත අහසේ යන්තමින් අකුණක් පෙනෙන කළ ප්‍රියා අවසන් හුස්ම හෙළුවාය. ඇගේ සිරුර අප්‍රාණික වී බෙහෙවින් දුබල වී යන අයුරු මට දැනුණි. ලක්ෂ වාරයක් මගේ ගෙල වටා එතුණු ඇගේ දකුණු අත කඩා වැටුණි. එසේ වැටුණේ ඇගේ දකුණු අත නොවේ මා වෙලාගෙන තිබුණු ඇගේ ආත්මය බව මට සිතුණි.."🍃🥀



ග්ලැසේරා - Keshan Hareshu

 #ග්ලැසේරා - Keshan Hareshu



පොත් කතා කලාවට පෑයු තාරකාවක් අතර පෑයු ආගන්තුක තාරකාවක් වශයෙන් කේෂාන් හරේෂු නම් මෙම නිර්මාණවේදියාගේ කුළුදුල් නිර්මාණයෙන් පසුව බිහි වූ විශිෂ්ට නිර්මාණයක් ලෙස ' ග්ලැසේරා ' හැදින්වීමට පුළුවන.

නිල් පැහැති බස් රථයකට නැග ආරම්භ කරන්නා වූ ගමනාන්තය තුළ මුහුණ දීමට සිදු වූ හරි අපූරු සිද්ධි දාමයකි.ස්වීඩනයේ සීතල සීතල හිමවල සිසිලස ගත පොපියා යන හැගීමකින් ත්‍රාසය ,භීතිය රෝම කූපයක් පාසා දැනෙන්නට ගත් නිර්මාණයකි.කුතුහලය පරිච්ඡේදයක් පාසා නොඅඩුව තබා ඉදිරිපත් කර ඇති ඉතා විශිෂ්ට නිමැවුමකි.බසයට නැග ගත් විවිධ මානසිකත්වයන්ගෙන් යුක්ත අට දෙනෙකුගේ බිහිසුණු චාරිකාවකි.

"ග්ලැසේරා" පිළිබද ඊට වඩා එහා යමක් සටහන් තබන්නට යාම අවශ්‍ය නැත.එය තවමත් කියවා නොමැති සහ කියවීමට බලාපොරොත්තු වන්නා වූ පාඨකයා හට කරනා අසාධාරණයක් හෙයින් එය මෙලෙස කියා අවසන් කිරීමට කැමතියි.

පරිවර්තන කෘතියක් කියවනවා දෝ යන හැගීමකින් කියවා නිම කරන ලද හරි අපූරු සිනමා ලෝකයකට කේෂාන් හරේෂු නම් නිහතමානී ලේඛකයකයා අපව රැගෙන ගියා යන්න පිළිබඳ ඉතාමත් සතුටින් කියන්නට හැකි ය.

එසේනම් ඔබටත් ආරධනා කරනවා බසයට නැගී ඒ ත්‍රාසජනක අත්දැකීම ලබා ගන්නට..☺️😌

සන්තියාගෝ නම් සැරිසරන්නා -පාවුලෝ කොයියෝ

 සන්තියාගෝ නම් සැරිසරන්නා

-පාවුලෝ කොයියෝ-

තමන්ගේ ජීවිතයේ සතුට, නිදහස සොයා ගෙන ගිය ගමනේ දී තමන්ට හමු වූ යම් මිනිසුන් කිහිප දෙනෙකු නිසා කොලුවාගේ ජීවිතය වෙනස් මගකට යාවි යැයි ඔහු කෙදිනකවත් සිදු වූ දෙයක් නොවේ....ඔහු එම අරමුණේම ගියේය..ඒ මග ඇත්තෙන්ම අහම්බයකි...

'' තමුන්ට අවශ්‍ය දේ ලබා ගැනීමට සමත්කමක් ඇත්නම් නොදන්නා වූ දෙය ගැන බිය වීමට අවශ්‍යතාවක් මිනිසාට නැත්තේය. - අපි ළඟ තියෙන දේවල් - ජීවිතේ, දේපොළ, අපි සන්තක වස්තු මේ මොනවා උනත් අහිමි වෙනවට අපි බයයි. ඒත් අපේ ජීවිත වගේම ලෝකෙ ඉතිහාසයක් ලියවිලා තියෙන්නේ එකම හස්තයකින් කියලා අවබෝධ උනාම අපේ බය නිකංම වාෂ්ප වෙලා යනවා."

" ....ඒ ඇයි කිව්වොත් මං ජීවත් වෙන්නේ අතීතයේ වත් අනාගතයේ වත් නොවෙන හින්දයි. මගේ මනාපෙ තියෙන්නෙ මේ ගෙවන වර්තමානය ගැන විතරමයි.තමුන්ගේ වර්තමාන ගැන විතරක් හිත යොමන්න ඔයාටත් පුළුවන් වෙතොත් ඔයා හරිම තෘප්තිමත් මිනිහෙක් වේවි. කාන්තාරය ඇතුළෙත් ජීවිතය තියෙන බවත්, මේ ගෝත්‍රිකයෝ රණ්ඩු සරුවල් කරන්නේ ඔවුන් මිනිස් වර්ගයාගේම කොටසක් වීම නිසා බවත් එතකොට ඔයාට පෙනේවි. ජීවිතේ හරියටම මේ අපි ගෙවා දමන නිමේෂය නිසාවෙන් ඔයාට ජීවිතයේ උත්සවයක්, මහා සැණකෙළියක් බවට පෙරළේවි. "

මෙය කියවිය යුතු ම පොතකි.ඔබට ඔබගේ ජීවිතයේ අරමුණු කරා පිය මැනීමේ දී මෙය මහගු පිටිවහලක් වනවා නො අනුමාන ය.


නිල් කට්රොල් - මොහාන් රාජ් මඩවල

 නිල් කට්රොල් - මොහාන් රාජ් මඩවල


'ගෑනියෙකුට දරාගන්ඩම බැරි හැඟීම මොකක්ද දන්නවද? '

'මොකක්ද? '

'එයා මිනිහෙකුට ආදරය කරනවාට වඩා ඒ මිනිහා එයාට ආදරේ කරනව කියල දැනෙන හැඟීම..'

අතීතයෙන් අනාගතයත් අතර දෝලනය වන කාල පරාසයන් දෙකක් අතීත සීගිරි අප්සරාවන්ගේ මතක පොත විවර කරමින් සීගිරිය යුගය දක්වා පාඨක සිතට ගෙන යාම සඳහා මොහාන් රාජ් මඩවල ලේඛකතුමන් දරා ඇති ප්‍රයත්නය අති විශාල කොට සැලකිය හැකිය.

අනාගතයෙන් ආරම්භ වී සෙමෙන් සෙමෙන් අපව අතීතයට රැගෙන යන්නේ අපිටවත් නොදැනීය.විටෙක මෙය උපුලීගේ කතාවයි, විටෙක මෙය කාශ්‍යපගේ කතාවයි , තවත් විටෙක අත්භූත සිත්තරෙකුගේ කතාවයි.මේ සියලු දෙනාගේ කතා තුළ ජීවත්වන අපගේ සිත මෙතරම් දුර අතීතයකට රැගෙන ගොස් එකවිටම වර්තමානයට රැගෙන එයි.

මෙය ඔබත් මමත් හඳුනන සීගිරියේ කතාව ද..?

මොහාන් රාජ්ගේ ලේඛන ශෛලිය පිළිබඳ අමුතුවෙන් කිව යුතු නැත. ගොදුරක් ඉතා සෙමින් ඩැහැ ගන්නා කොටියෙකු මෙන් අපගේ සිත අපටත් නොදැනීම ඩැහැ ගැනීමට සමත් වූ ලේඛකයකු වශයෙන් මොහු හඳුන්වා දිය හැක.

මා කියවූ ඉතාමත් වෙනස්ම ගණයේ කෘතියක් කිවහොත් නිවැරදියි.මේ අතීතයෙන් ඒමට තිබූ දැඩි ලෝභීත්වයෙන් ඉතාමත් සෙමින් කියවා නිම කොට දැමූ කෘතියක් කියා කිව හැකිය. ඒ වැල් මී සුවඳ විඳින්නට විදින්නට ඔබත් මෙය කිය විය යුතු ම කෘතියක් වශයෙන් කිව යුතු ය.

' හැමතැනම පැතිරෙන හාහෝව නිසා මාත් හොරෙන් ගියා ඔය ගල් ගුහාවට විෂ වායුව බලන්ඩ...ඒක එහෙම මළ ඉලව්වක් නෙමෙයි..මට හොදටම විශ්වාසයි , ඒ මී පැණි මිශ්‍ර වැල්මී සුවද බව...'




මීෂා - මුතුමුදලිගේ නිශ්ශංක

 මීෂා - මුතුමුදලිගේ නිශ්ශංක ත්‍රාසය කුතුහලය රැගත් ක්ෘති කියවීමට අප බොහෝ සෙයින් ප්‍රිය කරයි.මාගේ කතාබහ සදහා මෙවර තෝරා ගැනීම බිහිසුණු කතා ශා...