Thursday 8 June 2023

හඩන විල ( නිදන විල 2) - කේෂාන් හරේෂු


 

හඬන විල - කේෂාන් හරේෂු

       📌️ එඩ්වඩ් පාවෙල් වෘත්තීමය මනෝ විද්‍යා විශේෂඥවරයෙකු විය.තමන්ට හමු වූ එක්තරා කුඩා දරුවෙකුගේ අසාමාන්‍ය ලක්ෂණ හේතු කොටගෙන එම දරුවා පිළිබද වැඩිපුර සොයා බැලීමක් කළ විට ඔහුට දැන ගන්නට ලැබුණු සහ ඔහුගේ පර්‍යේෂණවල ප්‍රතිඵලයන් වශයෙන් එම දරුවාගේ ශාරීරික සහ මානසික ගැටළු රාශියකට පිළිතුරු සොයා ගැනීමට ඔහුට හැකි විය. තමන්ගේ නිවසට හදිසියේ ම පැමිණි එම නන්නාදුනන තරුණිය තමන්ගේ නිවස ඉදිරිපිටම ගසේ එල්ලී සිය දිවි නසා ගැනීමෙන් පසු තමන්ගේ ආදරණීයෙකුට මුහුණ දෙන්නට සිදු වූ බොහෝ ප්‍රස්තුතයන් අතරේ ඔහු සිර විය. ඔහුගේ ද ජීවිතයේ අවසාන භාගයට ලං වෙද්දී ඔහුට දකින්නට ලැබුණු අදෘශ්‍යමාන බලවේගයන් ඔහුගේ මරණයට ඉක්මන් දෑත් දිගු කළේ ය.මේ සෑම දෙයක් ම ඔහුට ටිකෙන් ටික අවබෝධ වන්නට විය.

  📌️ජේම්ස්ගේ සිතේ හටගත් අනේක විද ප්‍රශ්නවලට අවශ්‍ය පිළිතුරු ඔහුට කාලෙත් සමග දැන ගැනීමට හැකි විය.කෙනෙකුගේ වියරු ප්‍රකාශනයක් හමුවේ ජේම්ස් තැති ගෙන ඇත්තේ තමන්ට එයින් කිසි දිනෙක ගැලවීමක් නොමැති බව පසක් කර ගනිමිනි.නිදන විල හිතින් අමතක කොට දැමුව ද එදා සිදු වූ සිදුවීම ඇතුළු තමන්ට මුහුණ දෙන්නට සිදු වූ අනේක විද කරදරයන් පිළිබද අමතක කොට දමා සිටීමට ජේම්ස්ට කිසි දිනක නොහැකි විය.

  📌️ආදරණීය පියෙකුගේ ආදරණීය දියණියක් වූ මැන්ඩිට තමන් වඩාත් ප්‍රිය කරන ලේඛකයා සියැසින් දැක බලා ගැනීමට 2020 ඔක්තෝම්බර් 17 දින නොමැන්ඩ් වෙත යන්නේ බලාපොරොත්තු රාශියක් දල්වා ගෙන ය.නමුත් ඇයට සිදු වන්නේ නොසිතූ විරූ දෙයකට මුහුණ දීමට ය.

  📌️ තමන්ගේ පොලිස් දිවියේ තමන් සතුව පැවරී ඇති රාජකාරිය අකුරටම ඉටු කරන පොලිස් නිළදාරී රෙවෙන්ස්වුඩ් සොයා ගන්නා දෙයින් ඔහුව ද ආන්දෝලනයකට පත් කරන්නට විය.තමන්ට ලැබෙන සියුම් තොරතුරු හමුවේ ඔහු පර්‍යේෂණ කටයුතු සිදු කරමින් ඔහු අවසානය වෙත පැමිණියේ ය.
 
  මේ සියළු දේට අවශ්‍ය පිළිතුරු හඬන විල කියවන පාඨක අපට සොයා ගැනීමට හැකි වේ.නිදන විල කෘතියෙන් පසු දිගු නිහැඩියාවකට පසු කේෂාන් හරේෂු ලියා අවසන් කළ මෙම කෘතිය චිත්තරූප ඉහළම තලයකට ඔසවාලමින් පාඨකයන්ගේ හද ගැස්මේ නිම්නාදයන් සියුම්ව තැති ගන්වන්නට සමත් ලෙස රචනා කොට තිබීම සදහන් කළ යුතු ම ය.මෙය චිත්‍රපටියකට පරිවර්තනය කළහොත් කුමක් වේවි ද කියා සිතුණත් මෙය චිත්‍රපටියක් නොවී කෘතියක් තුළ අන්තර්ගත කතාව පමණක් වීම ඊට වඩා සුදුසු යැයි මගේ අදහසයි.මන්දයත් පැය දෙකකට මෙය සීමා කළ නොහැකි කතා රසයක් මෙහි අන්තර්ගත කොට තිබීම මෙහි විශේෂත්වයයි.

මෙය ඉක්මණට කියවා දමා මෙය වසා තැබීමට හිත බොහෝ අදි මදි කළ ද කතාවේ අවසාන භාගයට පැමිණෙන විට මෙය කියවා අවසන් කිරීමට තරම් මගේ සිත විශාල වශයෙන් පෙළඹුමකට ලක් කළේ ය.

   කේෂාන් හරේෂු විසින් රචිත ග්ලැසේරාගෙන් ආරම්භ කළ මාගේ කියවීම නිදන විල , හඩන විල දක්වා දිගහැරීමට සමත් වූයේ මොහුගේ කෘති  කියවීමට ඇති ඉල්ලුම දෙගුණ තෙගුණ කරවමිනි.මෙවැනි අලංකාර සිතුවිලි ඔබගේ සිතට දැනී ඇගිලි තුඩකට ගෙන එන්නට සිතුණේ කෙසේ ද යත් සිතා ගත නොහැක.එය එතරම් විස්මයජනයකය.එසේනම් ඔබගේ මීළග කෘතිය කියවීමට දෑස් දල්වා ගනිමින් මෙන් ම ඇගිලි ගනිමින් සිටිනා බව අවසාන වශයෙන් පැවසීමට කැමති ය.

  අනිවාර්යයෙන් මෙම හඩන විල කෘතිය කියවීමට ප්‍රථම නිදන විල කෘතිය කියවා එම රසයෙන් ම හඩන විල කෘතිය කියවා බලන ලෙසට මාගේ මෙම සටහන කියවන පාඨක ඔබෙන් ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිමි.ඇවිත් මේ විලේ පත්ලේ ගැඹුර කෙසේද යත් කියවාම බලන්නට යැයි ඉතාමත් ලබැදි සෙනෙහසින් ඔබට මතක් කරන්නට කැමතිය.

10 comments:

Thank you

මීෂා - මුතුමුදලිගේ නිශ්ශංක

 මීෂා - මුතුමුදලිගේ නිශ්ශංක ත්‍රාසය කුතුහලය රැගත් ක්ෘති කියවීමට අප බොහෝ සෙයින් ප්‍රිය කරයි.මාගේ කතාබහ සදහා මෙවර තෝරා ගැනීම බිහිසුණු කතා ශා...